කුසලධම්ම නාහිමියෝ දැයෙන් සමු ගනිති…
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට මෙන්ම ලෝකවාසී බෞද්ධ ප්‍රජාවට ද කුසලයෙහි පින් පල නෙළා ගැනීමට ශාසනික හා ආධ්‍යාත්මික වශයෙන් පින් කෙතක් බඳු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ ඊයේ (31) දැයෙන් සමු ගත්හ.
බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් ශික්ෂාකාමී භික්ෂු සමාජයක් බිහි කිරීම උදෙසා සිය පැවිදි දිවිය කැප කළ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘවරයකු වූ උන් වහන්සේගේ ආදාහන පූජෝත්ස්වය කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කෙරුණේ රාජ්‍ය ගෞරවය මධ්‍යයේය.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි අවසන් ගෞරව දැක්වීම පිණිස තැන්පත් කර තිබූ උන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් විශේෂ රථ පෙරහර ඊයේ පස්වරු 12.30ට එම පිරිවෙණෙන් පිටත්ව නුවර පාර ඔස්සේ කැලණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්තත මංසන්ධිය හරහා ඉංග්‍රම් මංසන්ධිය ඔස්සේ දෙමටගොඩ මංසන්ධියට රැගෙන එනු ලැබීය.
අනතුරුව බේස්ලයින් මාර්ගයෙන් පැමිණ හෝර්ටන් විජේරාම මංසන්ධිය, හොර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා රැගෙනවිත් එහි තනා තිබූ විශේෂ පීඨිකාවෙහි තැන්පත් කරනු ලැබිණි.
ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනා කරමින් පැන් වැඩීම හා මතක වස්ත්‍ර පූජාව සිදු කළේ භික්ෂූන් වහන්සේ ප්රමුඛ ගිහි ඥාතී පාර්ශ්වයේ සහභාගීත්වයෙනි. මෙහිදී ගිහි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
පැවිදි අනුශාසනා හා ගුණකථනවලින් අනතුරුව අපවත් වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තනා තිබූ චිතකය වෙත රැගෙන යනු ලැබුවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ උර මතිනි.
ඉන් අනතුරුව හිරු අවරට ගිය නිසල සැඳෑවේ උන් වහන්සේගේ ශ්‍රී දේහය සහිත චිතකයට ගිනි දල්වනු ලැබීය.
ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහාවිහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී, සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුළෑවේ විමලාභිධාන නාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහා සංඝ රත්නය එම ආදාහන පූජෝත්ස්වය සඳහා වැඩම කර සිටි අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ප්රමුඛ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ද, විදේශ තානාපතිවරුන් ද ඇතුළු ගිහි දායකකාරකාදීහු රැසක් ද මෙම ආදාහන පූජෝත්ස්වය සඳහා එක්ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)