ජේ.ආර්. ගේ නිවෙසේ ඉදි වුණු ජගත් බොදු සරසවිය…

මුළු ලොවම විශ්ව ගම්මානයක් වී ඇති මේ කාලයේ බුදුදහම ආශ්‍රිතව තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව එතෙර මෙතෙර බෞද්ධ භික්ෂු පරපුරට හා එතෙර මෙතෙර සිසු පරපුරට ආචාර්ය උපාධිය දක්වා උපාධි ලබාදෙන ජගත් මට්ටමේ බෞද්ධ සරසවියක් දැන් අපේ රටේ පිහිටුවා ඇත.
කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ අක්කර 50 ක මනරම් භූමි භාගයක ඉදිකර ඇති ලොවටම ආගමික හැදියාවම බෙදා දෙන මේ පින් බිම අද හඳුන්වන්නේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙසයි. මෙම පුදබිම හිටපු ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හා එම මැතිනිය සංඝරත්නයට පූජා කළ භූමියකි. ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය වූ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ආදර්ශ කරගනිමින් 21 වැනි සියවසේ අපේ රටේ ඉදිවුණු මේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය අපේ රටේ බිහිවූ මේ ආකාරයේ එකම බෞද්ධ සරසවියයි. අද භික්ෂුන් වහන්සේ පමණක් නොව මෙහෙණින් වහන්සේට හා ගිහි තරුණ තරුණියන් ද ආචාර්ය උපාධිය දක්වා උපාධි ලබාගෙන මේ ආයතනය මානෙල්වත්ත පුදබිමේ මනරම් භූමි භාගයක පුරා විසිරී පැතිරී තිබේ.
මානෙල්වත්ත රජමහා විහාරාධිපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් මූලිකත්වයෙන් ඉදිවූ මෙම නාගානන්ද සරසවියේ අධ්‍යාපනය ලබන 5000 ක පමණ නේවාසික පහසුකම් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි මෙම ආයතනයේ සෙනෙට් මණ්ඩල සාමාජික උපකුලපති හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිපාණෝ පවසති.
මේ පිළිබඳව කරුණු දක්වන මෙම විශ්ව විද්‍යාලයේ පරිපාලන මණ්ඩලයේ සාමාජික පල්ලෙගම සුමන හිමිපාණෝ පැවසුවේ මෙම සරසවියට අනුබද්ධව ඉදිරියේදී ද බෞද්ධ සංචාරක හා සමාජසේවා ක්‍ෂේත්‍ර අනුබද්ධ පාඨමාලා රැසක් ආරම්භ කරන බවයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණෝ පැවසුවේ මේ අධ්‍යාපන මධ්‍යස්ථානය එතෙර මෙතෙර සැමටම සෙත සලසන බොදු ජගත් සරසවියක් බවයි.
එදා නාලන්දා විශ්වවිද්‍යාලයෙන් තමයි ලොවම උගත්තු බිහිවූයේ. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සැලැස්මට අනුව මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පියවර ගත්තා. ගොඩනැගිලි දේශන ශාලා ආදිය සියල්ල නාලන්දාවේ සැලසුමට අනුව ඉදිකරනු ලැබුවා. ලොව ප්‍රථම නෙළුම් මල් සංකේතය පළමු වරට ලොවට හඳුන්වා දුන්නේ ඉන්දියාව. එම නෙළුම් මල් සංකේතය මෙම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවේ වහලයේ කැටයම් ලෙස යොදාගනු ලැබුවා.
මෙය තමයි මේ සියවසේ ලොව තිබෙන ථෙරවාද, මහායාන සහ වජ්රයාන යන බුද්ධාගමට සම්බන්ධ සියලුම ඉගැන්වීම් කටයුතු කරන එකම විශ්වවිද්‍යාලය. එදා නාලන්දා විශ්වවිද්‍යාලයෙන් පසු මෙලෙස සියලුම බෞද්ධ ඉගැන්වීම් කටයුතු සිදුකරන විශ්වවිද්‍යාලයක් ලොව කොහේවත් බිහිවූයේ නැහැ. ථෙරවාද, මහායාන, වජ්රයාන ඉගැන්වීම් වෙන වෙනම සිදුකරන විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන පමණයි තිබෙන්නේ.
ලෝකයටම බුදු දහම පතුරුවන්න නම් මේ සියල්ල එක තැනක ඉගැන්වීම් සිදුකරන විශ්වවිද්‍යාලයක් තිබිය යුතුයි. එනිසා මෙම විශ්වවිද්‍යාලය තුළ ඒ සියලු අධ්‍යයන කටයුතු ලබාදෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දේශීය මෙන් ම විදේශීය භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේ අධ්‍යාපනය ලබනවා.
මෙහි තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් තිබෙනවා. බුදුදහම පිළිබඳ පර්යේෂණ කිරීමට පහසුකම් තිබෙනවා යැයි ද ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණෝ පැවසූහ.
ඒ සමඟම ඉදිරියේදී රටවල් කිහිපයක් සමඟම ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව නේපාලය තායිවානය කොරියාව ජපානය චීනය රුසියාව වැනි රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ද සපයනු ලබයි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී නව වන අවුරුද්දේ මණිඅක්ඛික නා රජුගේ ආරාධනාවෙන් කැලණි පුරයට වැඩමවා වදාළ අවස්ථාවේ රජු විසින් මෙම බොල්ලාගල පුරවරය බුදුරදුන්ට පූජා කරන ලදී. ඉතිහාස මූලාශ්‍රවලට අනුව කැලණිය, බොල්ලෑගල පිහිටි අද මානෙල්වතු මහා විහාරය නමින් හැඳින්වෙන මෙම භූමිය අතීතයේ රජවත්ත නමින් හඳුන්වනු ලැබූ අතර මෙය පිහිටා ඇත්තේ එදා බුදුරදුන් වෙත පූජා කරන ලද භූමිය තුළයි.
මෙම භූමිය ලංකාවේ පළමු විධායක ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මහතා හා එලීනා ජයවර්ධන මහත්මිය විසින් 1962 ජනවාරි 20 වැනි දින සඟ සතුකොට එකල මල්වතු මහානාහිමියන් වැඩ සිටි වැලිවිට සංඝරාජ විහාරස්ථානයට පූජා කරන ලදී. අනතුරුව මානෙල්වතු විහාරාධිපති වශයෙන් කන්ඩක්කුලමේ ධම්මකිත්ති නාහිමියන් පත් කරන ලදී. 2002 දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති කිරින්දේ ධම්මානන්ද මාහිමියන්ගේ උපදෙස් පරිදි මානෙල්වතු විහාරය සංවර්ධනය කරමින් අනාගතයට දායාද කරන්නට තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් වෙත පවරනු ලැබූහ. මේ වනවිට උන්වහන්සේගේ නායකත්වය හා මෙහෙයවීම යටතේ මෙම මානෙල්වත්ත පුද බිම, මානෙල්වත්ත මහා විහාරය අධ්‍යාපන ඇකඩමිය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය, බුද්ධශ්‍රාවිකා අධ්‍යාපන පුහුණු ආයතනය, ආයුර්වේද වෛද්‍ය අංශය, තොරතුරු තාක්ෂණ අංශය, සම්මන්ත්රණ ශාලාව යනාදී අංශවලින් සුවිශේෂ ලෝක ශාසනික හා සමාජ මෙහෙවරක් කරමින් පවතී.
![]() |
තොරතුරු, සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කළ අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ උප කුලපති බෝදාගම චන්දිම නාහිමිපාණන් ඇමැතිවරයාට බුදු පිළිමයක් පිරිනැමූ අවස්ථාව. ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිපාණෝද මෙහි වෙති. |
මෙම මානෙල්වතු විහාරයේ දක්නට ලැබෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරයක් වන බෝධීන් වහන්සේ ඉතා ආකර්ෂණීයය. එය වැඩම කරවා රෝපණය කරවා ඇත්තේ ද හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. මෙම විහාර භූමියේ ඉදිකර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේගේ ස්ථාන තුනක ධාතු නිධන්කර තිබේ. එය අනෙකුත් චෛත්‍යයන් තුළ දක්නට නොලැබෙන අවස්ථාවකි. පේසාවළලු 3 අසල ද සීවලී මහ රහතුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ඇත.
1978 ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ කපිලවස්තු ධාතූන් වහන්සේලාගේ දෙනමක් ද මෙම චෛත්‍යයේ ම හතරැස් කොටුවේ තැන්පත් කර ඇත.
හිටපු ජනාධිපතිතුමා විසින් මෙම පූජා භූමිය පූජා කිරීමේ ඔප්පුවේ සඳහන් කර ඇත්තේ මෙම විහාරස්ථානය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් විය යුතු බවයි. එකී අරමුණ ඉටුවන පරිදි ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් දැනටමත් මෙම ස්ථානය ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පත්කර ඇත. මෙහි තෙමහල්, සිවුමහල් ගොඩනැගිලි 11ක් ඉදිවී ඇත. ඒ අතර පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දේශන ශාලා, අංග සම්පූර්ණ පුස්තකාලය 1500කට පමණ පහසුකම් සහිත ශ්‍රවණාගාරය, ස්ත්‍රී/පුරුෂ දෙස් විදෙස් 2000 දෙනා සඳහා නේවාසිකව පහසුකම් හා ආපන ශාලා ඉදිවී ඇත. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පාලක සභාවක් හා සෙනෙට් සභාවක් ඇත. සෙනෙට් සභාවේ ප්‍රධාන වන්නේ එම බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති හා තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් ය.
මෙහි සියලු අධ්‍යාපන කටයුතු පාඨමාලා කටයුතු හා දේශන ආදිය සංවිධානය කරන ප්‍රධාන පීඨාධිපති ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහාචාර්ය තුමා ය. ඊට අමතරව මහාචාර්ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසර නාහිමි හා මහාචාර්ය මැදගොඩ අභය තිස්ස මහනාහිමි ඇතුළු විද්වත් මහා සංඝරත්නය හා මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර මහතා ඇතුළු ගිහි විද්වත් පිරිසක් ද මෙම සරසවි විශ්ව විද්‍යාලයේ කටයුතු මෙහෙයවති.
නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ (NIIBS) උසස්පෙළ, සාමාන්‍ය පෙළ හා ප්‍රාචීණ සමත් මහා සංඝරත්නය හා ගිහි තරුණ තරුණියන්ට සුදුසු පාඨමාලා 30 කට අධික ගණනක් ක්‍රියාත්මක වේ. ඒ අතර තොරතුරු තාක්ෂණ යෙදවුම් පාඨමාලාව, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධ භාවනාව පිළිබඳ පාඨමාලාව, උපදේශන මනෝවිද්‍යා පාඨමාලාව, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන පති උපාධිය හා සිංහල, ඉංග්‍රීසි, පාලි, හින්දු, ජපන් චීන, දෙමළ ආදී භාෂා පිළිබඳ පාඨ මාලාවන් ඇතුළු පාඨමාලා රැසක් ක්‍රියාත්මක වෙයි.
ඊට අමතරව බෞද්ධ භාවනාවල මනෝ චිකිත්සක හා ආධ්‍යාත්මක සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධායුර්වේද ආහාර ඖෂධ හා චර්යා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධායුර්වේදීය වෘද්ධත්ව කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ජ්‍යොතිෂය හා සමගාමී විද්‍යා (හස්ත රේඛා ශාස්ත්‍රය හා ශාන්තිකර්ම) පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව යන පාඨමාලාව ද මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ය.
එමෙන් ම ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය, ගෞරව උපාධිය හා ශාස්ත්‍රපති, දර්ශනපති උපාධි පාඨමාලා ද ආරම්භ කෙරේ. දේශීය හා විදේශීය භාෂාවන්ද යොදා ගැනේ.
දෙදහස් වසක් නිර්මල ථේරවාද බුදු දහම ආරක්ෂා කරගනිමින් මුළු ලොවටම දායාද කළ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවෙහි සිට අනාගත ලෝකයෙහි සුවහසක් ධර්ම අධ්‍යාපන අභිලාෂී විද්‍යාර්ථීන් වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවයක් සේ සලකා මේ ලෝක සාසනික මෙහෙවර සිදුකරන්නට අති පූජ්‍ය බෝදාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේට සුවිශේෂී ශක්තිය අනුග්‍රහය ලබාදී ඇත්තේ විදේශ ධර්මාභිලාශී බොදු ජනතාවගේ සහයෝගයයි.
නාගානන්ද ජගත් බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉහත සියලු පාඨමාලා පිළිබඳව වැඩි විස්තර 0113662846 දුරකතන අංකයෙන් විමසීමට පුළුවන.
මෙම ස්ථානයේ ඇති සුවිශේෂ ශ්‍රවණාගාරය මෙරට ඉහළම ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණයෙන් පරිපූර්ණය. වාහන නැවතීමේ ඉඩකඩ සහ සුන්දර වටා පිටාවක් ඇති මෙම ස්ථානය ආගමට දහමට ගරුකරන ඕනෑම ප්‍රසංගයකට සමුළුවකට වැඩසටහනකට විවෘතව පවතී. අධිවේගී මාර්ග කොතලාවල පිවිසුමේ සිට විනාඩි 5 කින් මෙම ස්ථානයට පැමිණීමට හැකි ය. මෙම විශ්වවිද්‍යාලයේ සෙනෙට් මණ්ඩල සාමාජික ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් පවසන පරිදි දැනට මෙම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නම් කර ඇති අධ්‍යයනාංශ, දේශන ශාලා, නේවාසිකාගාර, පුස්තකාල, පරිගණක, ආපන ශාලා, හා ක්‍රීඩා කටයුතු සඳහා ස්ථාන ආදී සියලු පහසුකම්වලින් සමන්විතය. ඒ අනුව මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කර මෙම සරසවියට වරලත් තත්ත්වය ලබාදෙන්නේ නම් එතෙර මෙතෙර බෞද්ධ භික්ෂු භික්ෂුණීන්ට හා එතෙර මෙතෙර බෞද්ධාගමික තරුණ තරුණියන්ට ඉමහත් ප්‍රතිලාභයක් අත්වනු ඇති බව ද රාහුල හිමිපාණෝ පවසති.
මේ පිළිබඳව තොරතුරු, සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමුවී තිබීම ඉතාම සතුටු දායක බව ද රාහුල හිමිපාණෝ පවසති. ථේරවාද, මහායාන සහ වජ්රයාන සම්ප්‍රදායන් තුනම උගැන්වෙන තැනක් මෙරට නොමැති තරම්ය. නාගානන්ද විශ්වවිද්‍යාලය ඒ වෙනුවෙන් දොරටු විවර කොට තිබේ. මෙහි පීඨ5 ක් වේ. දෙස් විදෙස්, ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෞද්ධ විශ්වවිද්‍යාලයේ දැනුම් දොරටුව හැර තිබේ. එසේම බෞද්ධ විෂයයේ ප්‍රායෝගික පැත්ත සංවර්ධනය කරමින් භාවනාව වැඩි දියුණු කිරීම සඳහා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මිහිඳු අරණ නම් වූ අසපුවක් වෙත යොමු කෙරේ.
විදේශාධාර ඔස්සේ ත්‍රිපිටකය, පිරුවානා පොත් වහන්සේ වැනි ධර්ම පුස්තක මුද්‍රණය කරවීම පූජ්‍ය බෝදාගම චන්දිම හිමිගේ මඟපෙන්වීම යටතේ මේ පුදබිමේ සිදුවන මහා පුණ්‍ය කර්මයන් ය.
සෑම පුන් පොහෝ දිනක් ම මානෙල්වත්ත පුදබිම අෂ්ටාංග ශීලයට සමවැදුණු උවැසි උවැසියන් දහසකට අධික පිරිසකගෙන් පිරී යන්නකි. උදේ 6.30 පටන් සවස 5.00 දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්වලින් පොහෝ දිනය වඩාත් අර්ථවත් දිනයක් ලෙසට ගත කෙරෙනු ඇත. මීට අමතරව තායිවානය, ජපානය ඇතුළු රටවල පැවිදි පිරිස් බෞද්ධ සහජීවනය වඩවාලනු පිණිස සංවිධානය කරන වැඩසටහන් ද මානෙල්වත්ත පුදබිමට ආගන්තුක නොවේ.
මේ අනුව බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි අපේ රටේ මහ සඟරුවනේ හා ගිහි විද්වත් පිරිසකගේ මෙහෙයවීම මත මෙරට ඉදිකළ සියලු අධ්‍යාපනික අංග උපාංග සහිත මේ ජගත් බොදු සරසවිය මෙන් ම මේ සිත නිවන මානෙල්වත්ත පින්බිම සුරැකීමට හා සංවර්ධනය කිරීමට රජයේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ හා පින් කැමැති සියලු දෙනාගේ සහය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
උපුටා ගැනීම: සිළුමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)