වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි…
වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි
ගුරු හා විදුහල්පති සේවාවල වසර 24ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවතින වැටුප් විසමතා ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් වන යෝජනාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කැබිනට් මණ්ඩලය හමුවට අද (26) ඉදිරිපත් කිරීමට නියමිතය.
ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විසමතාවයන් ඉවත් කිරීමට අදාළව ජාතික වැටුප් කොමිෂන් සභාව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත පසුගිය මස 18 වැනි දින ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා මෙමඟින් කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.
දකුණු ආසියාවේ සහ යුරෝපයේ බොහෝ රටවල ගුරුවරුන්ගේ වැටුප් තල අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තලවලට වඩා ඉහළ මට්ටමක පවතින නමුත් අපේ රටේ ගුරුවරුන්ගේ වැටුප් තල පහළ මට්ටමක පවතින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සිය යෝජනාවෙන් කරුණු දක්වා තිබේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීම සඳහා ඉටුකරනු ලබන අනර්ඝ මෙහෙවර අගය කරනු වස් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම ප්‍රමුඛ කාර්යක් සේ රජය සලකන බවත් එහි දැක්වේ.
අදාළ නිරීක්ෂණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන අතිරේක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීමටත් අමාත්‍යවරයා අනුමැතිය ඉල්ලා ඇති බව රජයේ ප්‍රකාශකයෙක් දිනමිණට පැවසීය. ගුරු සහ විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා විවිධ අවස්ථාවලදී යෝජනා හා නිර්දේශ ඉදිරිපත්ව ඇති නමුත් ඒවා ක්‍රියාත්මක වී නොමැත. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය වසරේ පෙබරවාරි මස 24 වැනි දින අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සහ එම වසරේම නොවැම්බර් මස 27 වැනි දින අමාත්‍ය මණ්ඩල සටහනක්ද ඉදිරිපත් කර ඇත.
ජාතික වැටුප් කොමිෂන් සභාවේ දැනුම් දීමක් මත ගුරු හා විදුහල්පති සේවා අතර වැටුප් විෂමතා අධ්‍යනය කිරීමට විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විධිමත් කමිටුවක් පත් කර එහි වාර්තාව මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින ඉදිරිපත් කර තිබේ.
එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් හා වැටුප් කොමිෂන් සභාවේ නිලධාරීන් අතර දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මතුවූ ගැටලු හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සැකසූ නව යෝජනාවලියක් ජනාධිපති ලේකම්වරයා වෙත මැයි මස 17 වැනි දින ඉදිරිපත් කර ඇත.
ධනුෂ්ක ගොඩකුඹුර
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)