හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක
- අවබෝධය තමා වැදගත්ම දේ
- වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා
- හැම දේම ගැන වපර ඇසින් නොබලන්න
කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමඟ පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතන වසා දැමීම හේතුවෙන් බිඳවැටුණු ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය යළි සක්‍රිය කිරීම සඳහා යොදා ගැනීමට සිදු වූයේ ඔන්ලයින් නොඑසේ නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයයි. මෙරටට තරමක් ආගන්තුක වූ මෙම අධ්‍යාපන ක්‍රමවේදය ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධව පර්යේෂණ ගණනාවක් සිදු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක මහත්මිය පවසන්නේ කොවිඩ් වසංගතය අවසන් වුවත් මෙම ක්‍රමවේදය මුළුමනින් බැහැර නොකර පවත්වාගෙන යා යුතු බවයි. ඒ සම්බන්ධව ඇය සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි මේ.
l කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමුණා. මේ වන විට වසර 1/ 12 ක පමණ කාලයක් ළමයින් සිටින්නේ නිවෙස්වලයි. මේ නිසා බිඳ වැටුණු ඉගෙනුම් ක්‍රියාවලිය සක්‍රිය කරන්නට දැන් මාර්ගගත අධ්‍යාපනය (Online Education) භාවිත කරනවා. මෙය අපට තරමක් නුහුරු අත්දැකීමක් වුවත් ලෝකයට එය අලුත් දෙයක් නොවෙයි නේ ද?
ඇත්තටම ඔන්ලයින් අධ්‍යාපනය නැත්නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වසංගත තත්ත්වය එන්නත් කලින් සිට ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමට යොදා ගත්තා. අද අපි ඉන්නේ තත්ත්පරයක් පාසා පවතින දැනුම අලුත් වන ලෝකයක. මෙයට දශකයකට පෙර තත්ත්පරයකදී ලෝකයේ දැනුම අලුත් වූවාට වඩා වැඩි වේගයකින් අද ඒක සිදු වෙනවා. ඉදිරියට එය තවත් වෙනස්වීම්වලට භාජනය වෙනවා. මේ සියල්ල සිදු වන්නේ තාක්ෂණයේ දියුණුව මතයි. තාක්ෂණයෙන් බැහැරව අපිට ඉදිරි ගමනක් නැහැ. අපි ගොඩක් වෙලාවට වෙනස් වෙන්න අකමැතියි. සම්ප්‍රදාය තුළ ගැබ්ව සිටින්නට උත්සාහ කරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ලෝකයේ නව අධ්‍යාපන ප්‍රවණතා හා සැසඳීමේදී අපි අධ්‍යාපනයට තාක්ෂණය යොදා ගැනීම අතින් හිටියේ ගොඩක් පහළ මට්ටමක. කොවිඩ් සමඟ අපට ලැබුණු යහපත් දෙයක් හැටියට තමයි මම මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය දකින්නේ.
කොවිඩ් නොමැති වුණා නම් අපිට මේ තැනට යන්න තවත් සෑහෙන කාලයක් ගත වේවි. පංති කාමරයක් තුළ ගුරුවරයා හා සිසුන් මුහුණට මුහුණලා කරන සම්ප්‍රදායික අධ්‍යාපනය අපගේ ශරීරවලට ජීර්ණ වූ එකක්. ඒ වගේම ඒක ඉතාම සාර්ථකයි. එම ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට නොහැකි නම් අපි වෙනත් විකල්පවලට යා යුතුයි. එලෙස විකල්පයකට යන ලෙස කොවිඩ් අපට බල කරනු ලැබුවා. මේ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් නිවෙසේ සිට පරිගණකයක්, ටැබ් එකක් හෝ ජංගම දුරකතනයක් උපයෝගි කර ගෙන ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පාඩම් වැඩ කරන්න දරුවන්ට සිදු වුණා. මේක අපට අලුත් අත්දැකීමක්. අලුත් දේකට හුරුවෙන්න ටිකක් ආමාරුයි. හුරු වුණාට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ලෝකය පුරා අද මේ ක්‍රමවේදය භාවිත කරනවා. දැන් ඇතිව තිබෙන පරිවර්තනය සමඟ අපට ලෝකය සමඟ සමාන්තර ගමනක් යෑමට පසුබිම සකස් වී තිබෙනවා.
l ඔබ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කෘතියක් කරනවා. ඒ සඳහා අදාළ කර ගන්නේ තාක්ෂණය බද්ධ අධ්‍යාපනයට ජංගම දුරකතනය යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව. කලක් අපේ රටේ පාසල් දරුවන්ට තහනම් භාණ්ඩයක් ලෙස පැවැති ජංගම දුරකතනය මෙවැනි කාර්යයක් සඳහා යොදා ගැනීමේදී යම් යම් ගැටලු මතු වීමේ ඉඩක් තිබෙනවා නේ ද?
අනූව දශකය ආරම්භයේදී ජංගම දුරකතනය කියන්නේ අපිට ආගන්තුක භාණ්ඩයක්. අද වන විට මෙය සාමාන්‍යය භාණ්ඩයක් බවට පත් වෙලා. ජංගම දුරතනයක් නැති ගෙදරක් අද රටේ සොයා ගැනීමත් අමාරුයි. ඇතැම් අය ජංගම දුරකතන එකකට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. පවුල් ඒකකයක් ගත්තොත් කුඩා දරුවන් හැරුණු විට සෑම කෙනකුටම වගේ පෞද්ගලිකව පාවිච්චිය සඳහා ජංගම දුරකතනයක් තිබෙනවා. මෙම පසුබිම තුළ මෙය ඵලදායි ලෙස අධ්‍යාපනයට යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති හැකියාව ගැන මම උනන්දු වුණා. අපි උපාංග රැසකින් ගත් සේවයන් සියල්ල අද ජංගම දුරකතනයකින් ලබා ගන්නවා. ඇමතුම් ගැනීම, අන්තර්ජාලය හා සම්බන්ධ වීම හැරුණු විට වෙලාව බලා ගැනීමට, ඡායරූප ගැනීමට, වීඩියෝ දර්ශන ගැනීමට හා සංස්කරණය කර ගැනීමට, පරිසර උෂ්ණත්වය බලා ගැනීමට, තමන්ගේ දත්ත තොරතුරු ගබඩා කර තබා ගැනීම ඇතුළු සෑම දෙයක්ම ජංගම දුරකතනයකින් කර ගැනීමේ හැකියාව තිබෙනවා. විසිරී තිබුණු සියලු දේ ජංගම දුරකතනය මඟින් මිනිසාගේ අත්ලට ගෙනැවිත් දී තිබෙනවා කිව්වොත් නිවැරදියි. සෑම දෙයකම හොඳ මෙන්ම නරක තිබෙනවා. පැන්සලක් අරන් බැලුවොත් ඒකෙන් ලියන්න වගේම ඕනෑ නම් කාගේ හරි ඇහැට අනින්නත් පුළුවන්. පිහියක් ගත්තොත් වෛද්‍යවරයෙක් අතට ගියාම ඒක යොදාගන්නේ ජීවිතයක් බේරගන්නයි. මංකොල්ලකාරයෙක් අතට ගියොත් වෙන්නේ මනුෂ්‍ය ඝාතනයකට ඒක යොදා ගැනීමයි. එහෙමයි කියලා අපි පිහි පාවිච්චිය අත්හරිනව ද? අප කළ යුත්තේ වඩා යෝග්‍ය ආකාරයට භාවිත කර එමඟින් අවශ්‍ය ප්‍රයෝජන ගැනීමයි. ජංගම දුරකතනයත් එහෙමයි. යම් යම් නොමනා ක්‍රියාවලට ජංගම දුරකතන යොදා ගත් අවස්ථාවේ අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරා දැකිය හැකියි. එහෙත් ඒ නිසා එය බැහැර කිරීම ප්‍රායෝගික නැහැ. අද මර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය යම් හෝ සාර්ථකත්වයක් ලබා ගෙන තිබෙන්නේ ජංගම දුරකතන හැමෝම වගේ ළඟ තිබීම නිසයි. මේක අපිට ලැබුණු හොඳ අවස්ථාවක්. වැඩක් කරගෙන යනකොට තමයි අඩුපාඩු පෙනෙන්න ගන්නේ. ඒවා නිවැරදි කරගෙන ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට ජංගම දුරකතනය ඉදිරියටත් අපි උපයෝගි කර ගත යුතුයි.
l මාර්ගගත අධ්‍යාපනයට යොමු වීම නිසා දරුවන් විවිධ රෝගාබාධවලට ගොදුරු වන ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙන බවට වෛද්‍යවරු පෙන්වා දෙනවා නේ ද?
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා කතාවක් තියෙනවා. ඒක මේකටත් අදාළයි. නොදන්නාකම තමයි ගොඩක් වැරදිවලට හේතු වන්නේ. මේක අපිට අලුත් අත්දැකීමක්. ගුරුවරු වගේම දරුවන්ට ද මේ තාක්ෂණය භාවිත කරන ආකාරය සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවල පැය දෙක තුන කිසිදු විවේකයක් නොමැතිව දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වෙනවා. විශේෂඥවරු කියා තිබෙනවා විනාඩි 20 කට වඩා වැඩි වෙලාවක් එක දිගට ස්ක්‍රීන් එක දිහා බලා ගෙන ඉන්න එක ඇස්වලට හොඳ නැහැ කියලා. මේක ගුරුවරයාත් දැන ගන්න ඕනෑ. අනිත් කාරණය ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී පහසු ඉරියව්වක ඉඳීම වැදගත්. ගොඩක් ළමයි ෆෝන් එක අරන් පුටුවල දිගා වෙලා ඉන්නේ. බෙල්ල, කොන්ද ආශ්‍රිතව රෝග මතුවෙන්න මේක හේතුවක්. මොන තරම් දක්ෂ, බුද්ධිමත්, නිර්මාණශීලි දරු පරපුරක් බිහි වුණත් වැඩක් නැහැ ඔවුන් නීරෝගිමත් නොමැති නම්. තවමත් අපි මේ සිටින්නේ අත්හදා බැලීම් අවස්ථාවක. එවැනි තත්ත්වයක් තුළ විවිධ අඩුපාඩු ඇති වීමට පුළුවන්. ඒවා නිසා සමස්තය ප්‍රතික්ෂේප නොකර වඩා යහපත් අකාරයට මේක පවත්වාගෙන යෑම කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. අද ලෝකය තනි යායක් බවට පත් වී හමාරයි. රටවල් අතින් ගත්තොත් හැමෝම උත්සාහ කරන්නේ එකිනෙකා පරයා ඉදිරියට යන්නයි. කකුලක් පස්සට ගන්නවා කියන්නේ අපි බොහෝ පසුපසට තල්ලු වෙනවා කියන එකයි.
l රටක සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අයිතිය තිබිය යුතුයි. එහෙත් පිරිසක් නිවෙස්වල ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබද්දී තවත් පිරිසකට සිග්නල් හොයන්න ගස් ගල් උඩ නඟින්න වෙලා. මේක ගැටලුවක් නේ ද?
කොවිඩ් පළමු රැල්ල පැමිණෙන විට මාර්ගගත අධ්‍යාපනය කියන එක අපිට අලුත් දෙයක්. පාසල් මෙච්චර කාලයක් වසා දමන්න වේවි කියලා කවුරුවත් හිතුවේ නැහැ. ගෙවල්වලට වෙලා අධ්‍යාපනයක් නොමැතිව ඉන්න දරුවන්ට අධ්‍යාපනය දෙන්න මොනවද කරන්නේ කියන එක අපි කල්පනා කළේ කොවිඩ් පළමු රැල්ල ටිකක් ගියාට පසුවයි. පුංචි රටක් වුණත් අපේ රටේ පාසල් පද්ධතිය තුළ විෂමතා දක්නට ලැබුණා. නාගරික පාසල්, නාගරික ජනප්‍රිය පාසල් හා දුෂ්කර පාසල් ලෙස අපි පාසල් වර්ග කළා. සමහර පාසල්වල ගුරු හිඟයක් තියෙද්දී තවත් පාසල්වල ගුරු අතිරික්තයක් තිබුණා. මේ වගේ නිවැරදි කර ගත් කාරණා රැසක් සමඟ තමයි අපේ අධ්‍යාපනය ඉදිරියට ගියේ. මුහුණට මුහුණලා පංති කාමරය තුළ කළ අධ්‍යාපනයේදීත් සෑම දරුවකුටම සම අධ්‍යාපනයක් ලැබුණ ද කියන එක ප්‍රශ්නයක්. අද මාර්ගගත අධ්‍යාපනයේදීත් ඒක දකින්න ලැබෙනවා. වැරදි අඩුපාඩු හොයමින් ඉන්නවාට වඩා හොඳ වඩා යහපත් තැනකට යෑමට අවශ්‍යය පසුබිම සකස් කර ගැනීමයි. අද ජංගම දුරතකන භාවිතය සම්බන්ධයෙන් ගත්තොත් නාගරික හා ග්‍රාමීය කියලා බෙදන්න බැහැ. මේ අවස්ථාවේ රජය කළ යුත්තේ දුරකතන සම්බන්ධතා ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතන හරහා ග්‍රාමීය ප්‍රදේශවල පවතින සිග්නල් අවහිරතා මඟහැරවීමට අවශ්‍ය පියවර ගැනීමයි. දැන් අපි කොවිඩ් තුන්වන රැල්ලට මුහුණ දී සිටින්නේ. අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට දැන් කාලය ප්‍රමාණවත්. අපිට මේක අත් හරින්න බැහැ. ඉදිරියේදීත් පංති කාමරය තුළ කෙරෙන මුහුණට මුහුණලා කරන ඉගැන්වීම් ක්‍රමවේදයත් සමඟ මාර්ගගත අධ්‍යාපනයත් පවත්වාගෙන යෑම වැදගත්.
l ජංගම දුරකතනය සමඟ ගත කරන කාලය වැඩි වීමත් සමඟ දරුවන් හා මව්පියන් අතර පවත්නා සම්බන්ධතා පවා ගිලිහී යමින් තිබෙන තත්ත්වයත් පෙනෙන්න තිබෙනවා නේ ද?
මම කලින් කිව්වා වගේ මෙහි හොඳ නරක දෙකම තිබෙනවා. වඳුරාට දැලි පිහිය හම්බ වුණා වගේ තත්ත්වයක් ඇති වෙන්න දෙන්න නරකයි. ජංගම දුරකතනය අධ්‍යාපනයට වගේම සමාජ මාධ්‍ය ඇසුරු කිරිමට, ගේම් ප්ලේ කිරීමට දරුවන් පාවිච්චි කරනවා. මවුපියන් සමඟ වචනයක්වත් කතා නොකර කාමරවලට වෙලා හුදෙකලාව සිටින දරුවන් ඉන්නවා. මේ අය සමාජ සම්බන්ධතා නොමැති පිරිසක් බවට කාලානුරූපිව පත්වෙනවා. එක් පැත්තකින් මේ අය ආත්මාර්ථකාමියි. ඒ වගේ අයගෙන් සමාජ යහපතක් අපේක්ෂා කිරීම අසීරුයි. මම හිතන්නේ ගුරුවරුන් හා මවුපියන් යන දෙපිරිසම මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ.
l මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධව ඔබ පර්යේෂණ කළ කෙනෙක් හැටියට ශ්‍රී ලංකාවේ දැන් මෙය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන සතුටු විය හැකි ද?
දරුවෝ ගත්තම කොටස් කිහිපයක් ඉන්නවා. පෙර පාසල්, ප්‍රාථමික හා ඉන් ඉහළ පංතිවල දරුවන් ලෙස අපි කොටස් තුනකට දරුවන් බෙදා ගත්තොත් මේ කොටස් තුනටම මෙය අදාළ කර ගැනීමට අවශ්‍යය නැහැ. විශ්වවිද්‍යාලවල දරුවන් දැනුම හොයාගෙන යන පිරිසක්. ඒ අය කොහොමත් විශ්වවිද්‍යාල දේශන ශාලාවේදී ලබන අධ්‍යාපනය අන්තර්ජාලය මඟින් ගන්නා තොරතුරු මඟින් මුවහත් කර ගන්නවා. පාසල් දරුවන්ට අපි දැනුම දෙන්න ඕනෑ. විශේෂයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පංතිවල දරුවන්ට තරඟකාරී විභාග තිබෙන නිසා ඔවුන් තුළ අධ්‍යාපනය ලබන්න පෙළඹවීමක් ඇති වෙනවා. අනිත් පංතිවල දරුවන්ට ඒ අවශ්‍යතාව එතරම් දුරට දැනෙන්නේ නැහැ. ප්‍රාථමික පංතිවල දරුවන්ට දිනකට සුළු වෙලාවක් මෙම ක්‍රමයට අධ්‍යාපනය දීම වරදක් නැහැ. මම දැකලා තියෙනවා සමහර ප්‍රාථමික පාසල්වල පැය තුන හතර එක දිගට දරුවන්ට ඉගැන්වීම් කරනවා. මේක ඉතා වෙහෙසකර වැඩක්. දරුවා පමණක් නොව මේ නිසා ගුරුවරයා ද රෝගි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. පෞද්ගලික පංති පවත්වන ගුරුවරු අලුයම් කාලයේත් මධ්‍යම රාත්‍රියේත් පංති පවත්වන බව දරුවන් කියනවා. තවත් ගුරුවරු දැන් මේක මුදල් හම්බකරන ජාවාරමක් කරගෙන. මම හිතන්නේ දැන් මේ මාර්ගගත අධ්‍යාපනය නියාමනයකට ලක් කිරීමට හොඳම වෙලාවයි.
l යළි පාසල් විවෘත කළ විට පාසල්වලට එන දරුවන් කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භයේ සිටි පිරිසට වඩා වෙනස්ම පිරිසක් වේවි නේ ද?
ඔව්. ඒ අය දන්නවා දැනුම සොයාගෙන යන විදිහ. පාසල් පන්ති කාමරය මෙන්ම ඉන් එහා ලෝකය දැනුම් ගබඩාවක් බව දරුවෝ දන්නවා. ඒ සඳහා වන දොරගුළු විවිර කර ගන්නා අන්දම ඒ අය දන්නවා. අවශ්‍ය වෙන්නේ නිසි මඟපෙන්වීම හා මෙහෙයවීම පමණයි. පරිගණකය විදුහල්පතිවරයාගේ කාමරයේ රෙද්දකින් වහලා තිබුණ කාලයක් තිබුණා. ඒක අල්ලන්න කාටවත් අවසරක් ලැබුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස් වෙලා. පාසල්වලට පරිගණක මධ්‍යස්ථාන ආවා. දරුවෝ ඒවා තමන්ගේ කරගත්තා. ඔන්ලයින් අධ්‍යාපනය දැන් ළමයින්ට නුහුරු දෙයක් නෙවෙයි. ලියුමක් තෑපෑලට දානවා වගේ නෙවෙයි, ඊ මේල් එකක් දැම්මොත් ඒ මොහොතෙම අදාළ පුද්ගලයාට යනවා. ඒ නිසා නිවැරදි අචාර ධර්ම දැන සිටීමත් ඒවා නිසි ලෙස භාවිත කිරීමත් වැදගත්. මේවා සියල්ල ගැන දරුවන්ට අවබෝධයක් තිබෙනවා.
අසේල කුරුළුවංශ
ඡායාරූප
රුවන් මීගම්මන
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)