දිල්ලි වායු දූෂණය “දරාගත නොහැකි මට්ටමක” පාසල් වසා දමයි…
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය “දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි” දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් පවසයි.
දිල්ලි ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් කරා වාතයේ ගුණාත්මකභාවය “අන්තරායකර” කාණ්ඩය දක්වා පිරිහී තිබේ.
පවතින දුමාරය හේතුවෙන් ඉරිදා (නොවැ 03) දිනයේ ගුවන් යානා 30ක් පමණ ආපසු හරවා යවා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යාවලින් යුත් අංක සහිත වාහනවලට දිල්ලි ප්‍රාන්තයට පිවිසීම සඳහා නිශ්චිත දින ලබා දී ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ, වායු දූෂණය අඩු කිරීම සඳහා රථවාහන භාවිතය අවම කිරීමේ අරමුණිනි.

මෙම තත්ත්වය හේතුවෙන් දිල්ලි ප්‍රාන්තයේ සියලු පාසල් අඟහරුවාදා තෙක් වසා දැමීමට නියෝග කර ඇති අතර ඉදිකිරීම් කටයුතු ද අත්හිටුවා තිබේ.
දිල්ලි සෞඛ්‍ය අමාත්‍ය සත්යේන්දර් ජයින් උපදෙස් දී ඇත්තේ, නවදිල්ලි නගරයේ වෙසෙන්නන් “විශේෂයෙන් උදෑසන සහ රාත්‍රී කාලයේ නිවසින් පිටත කය වෙහෙසා කරන කටයුතුවලින් වැළකී සිටිය යුතු,” බවටය.
සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ, ජනතාව වායු දූෂණයෙන් මිදිය හැකි මුඛ සහ නාස්පුඩු ආවරණ පැළදිය යුතු අතර දූෂිත ප්‍රදේශවලින් ඉවත්ව සිටිය යුතු බවය. ඊට අමතරව, නිවෙස්වල දොර ජනෙල් වසා තබන ලෙස ද උපදෙස් දී තිබේ.
වායු දූෂණයට හේතුව කුමක් ද?
මෙම කාලයේ වායු දූෂණය ඇති වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් සිය වගා බිම් ශුද්ධ කිරීම සදහා පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය.
මීට සතියකට පමණ පෙර පැවති දීවාලි හින්දු ආගමික උත්සවය වෙනුවෙන් පුපුරුවා හරින ලද ගිනි කෙළිවලින් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍ර වෙයි.
දිල්ලි ප්‍රාන්තය පුරා පවතින දුමාරයට රථවාහනවලින් පිටවන දුම්, කර්මාන්තවලින් පිට කරන දුම් සහ ඉදිකිරීම්වලදී ඇවිස්සෙන දූවිලි ද හේතු වී තිබේ.
ඉන්දියානුවන් විශ්වාස කරනුයේ, මෙම සතියේදී තැනින් තැන ඇති විය හැකි වැස්සෙන් සියලු වායු දූෂණකාරක හේදී යනු ඇති බවය. එහෙත්, බ්‍රහස්පතින්දා වන තුරු වර්ෂාපතනයක ලකුණු නොමැත.

දුමාරය කෙතරම් අයහපත් ද?
දිල්ලි ප්‍රාන්තයේ වාතයේ පවතින අන්තරායදායක අංශු ප්‍රතිශතය (PM2.5 ලෙස සැලකෙන ගණනය කිරීමකි) නිර්දේශිත අගයට වඩා අතිශයින් ඉහළ අගයක් ගෙන තිබේ. එම අගය චීනයේ බීජිං අගනුවර පවතින අගයටත් වඩා හත් ගුණයකින් ඉහළ අගයකි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේ, නවදිල්ලි නගරයේ ඇති වායු දූෂණ මානයන්හි නිවැරදි වාර්තා ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අංකන නොමැති බවය. ඔහු එය හැඳින්වූයේ, “ව්‍යසනයක්” ලෙසය.
ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් නවදිල්ලි නගරය “ගෑස් කුටියකට” සමාන බවට ප්‍රකාශ කළ අතර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බලධාරීන් පසුගිය සිකුරාදා පාසල් ළමුන්ට මුඛ සහ නාස්පුඩු ආවරණ මිලියන 5ක් ලබා දී තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ආඝාතය, පෙනහලු පිළිකා සහ හෘදයාබාධවලින් සිදුවන මරණවලින් තුනෙන් එකකට හේතු වී ඇත්තේ වායු දූෂණය බවය.
“මේ තත්ත්වය දුම් පානයෙන් ඇති වන ප්‍රතිවිපාකවලට සමානයි,” ලෝක සෞඛ්‍ය සංවිධානය එහි වෙබ් අඩවියේ දක්වා තිබේ.
මේ අතර, ඉරිදා (නොවැ: 03) ඉන්දියාවේ නවදිල්ලිහිදී පැවති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගයේ පුහුණුවීම් අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවන් සහ බොහෝ ක්‍රීඩකයින් මුඛ සහ නාස්පුඩු ආවරණ පැළඳ සිටි අයුරු දක්නට ලැබිණි.

උපුටා ගැනීම: BBC පුවත්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)