සඳ මත චීන විප්ලවය 01

මහජන චීන සමූහාණ්ඩුව යනු ඇමරිකා එක්සත් ජනපදය, අතීත සෝවියට් සමූහාණ්ඩුව සහ වත්මන් රුසියාව යන රටවල අභ්‍යවකාශ වැඩසටහන් හැරුණු කොට ලෝකයේ තිබෙන සංවර්ධිතම සහ සංකීර්ණම අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහන යැයි හැඳින්වුවහොත් නිවැරදියි…..
ඒ පිළිබඳව දත්ත “ස්පේස් එක්ස්” සමාගම විසින් 2017 වසරේදි එළි දක්වන ලද දත්ත විශ්ලේෂණයක් ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, 2017 වසරේ අභ්‍යවකාශ යානා කක්ෂ ගත කිරීමේ සමස්ථ උත්සාහයන්ගෙන් 32% ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කර ඇති අතර, රුසියාව 23% ක් සහ චීනය 20% යනාදි වශයෙන් එම උත්සාහයන් ගොණුවට අයිතිවාසිකම් කියනවා.
පෘථිවි ග්‍රහයාගේ අපූරු ගමන් සගයා ලෙස සලකන සඳ මතුපිටට මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණ තාක්ෂණය අත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් පිළිබඳව තොරතුරු අපට පසුගිය සතියේදී අසන්නට ලැබුණා.
සඳේ අඳුරු කලාපය – ( Far side of the Moon ) යනුවෙන් හැඳින්වෙන්නේ, සූර්යාලෝකයෙන් ආලෝකවත් වී අපට කිසිදිනක නොපෙනෙන, චන්ද්‍රයාගේ අඳුරේ පවතින අර්ධයයි. වෙනත් වචනවලින් කියතොත්, පෘථිවිවාසීන් වන අප සදාතනිකවම දකින්නේ, චන්ද්‍රයාගේ එක් අර්ධගෝල මුහුණතකින් පරාවර්තනය වන හිරු කිරණ පමණයි…..
මෙය මෙසේ වන්නට හේතුව කුමක්ද?
මෙලෙස වන්නට හේතුව තමයි, චන්ද්‍රයා පෘථිවිය වටා සිය කක්ෂ ගමන සම්පූර්ණ කරන්න, හෙවත් පෘථිවිය වටා පරිභ්‍රමණය වෙන්න ගතවෙන කාලයට සමාන කාලයක් සිය අක්ෂය වටා භ්‍රමණය වෙන්නත් ගත කිරීම. වෙනත් වචනවලින් කියතොත්, චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය සම්පූර්ණ කරන්න ගන්න දළ කාලය ලෙස ගණනය කර තිබෙන දින 27.3, එම ග්‍රහ වස්තුව සිය අක්ෂය වටා භ්‍රමණය වෙන්න ගතවන කාලයට සමානයි….. මේ සැකැස්ම මේ අයුරින් සකස් වෙලා තියෙන්නෙ, තාරකා භෞතික විද්‍යා ක්ෂේත්රයේ හදාරනු ලබන ඉතාම පැරණි භෞතික විද්‍යාත්මක සබඳතාවක් නිසායි….
චන්ද්‍රයා බිහිවීම පිළිබඳව තිබෙන විවිධ සිද්ධාන්ත අතුරින් ජනප්‍රියම සිද්ධාන්තය වන, මීට වසර බිලියන 4.53කට මත්තෙන් පෘථිවිය එහි මූලාරම්භක අවස්ථාවේ පවතින විට, එය සමග සුවිශාල ග්‍රාහකයක් බඳු වස්තුවක් ගැටීම නිසා ඉවතට විසිව ගිය “බිහිකෙව්” (Ejecta) වෙනම ගුරුත්ව කේන්ද්‍රයක් වටා ඒකරාශී වීමෙන්, සඳෙහි උප්පත්තිය සිදුවූ බව….
මෙසේ බිහිවූ පෘථිවියේ මේ අපූරු ගමන් සගයා වසර මිලියන 350 ක පමණ කාලයක් තිස්සේ, එය බිහිවෙන්නට හේතු කාරක වූ ඝට්ටනය නිසා උත්පාදනය වූ ප්රවර්තක ශක්තිය (“මොමෙන්ටම්”) නිසාම පෘථිවිය වටා සිය කක්ෂයේ එක් වටයක් සම්පූර්ණ කිරීම පැය දහයක පමණ වේගයකින් සිදු කර තිබෙනවා…. මෙසේ පෘථිවිය වටා පරිභ්‍රමණය වන අතරම, සිය අක්ෂය වටාද පැය 4 ක පමණ කාලයකින් භ්‍රමණය වෙලා තිබෙනවා…..නමුත් මෙසේ කාලය ගතවන විට චන්ද්‍රයා මත පෘථිවියේ ගුරුත්වජ බලපෑම ඉතාම ඉහළ එකක් වීම නිසා, සඳු පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පැය 10ක සිට දින 27.3ක පමණ කාලයක් දක්වා දීර්ඝ වී තිබෙනවා.
අනෙක් වචන වලින් කියනවා නම් චන්ද්‍ර පරිභ්රමණයේ වේගය බෙහෙවින්ම අඩු වී තිබෙනවා. පෘථිවියේ ගුරුත්වජ කේන්ද්‍රය, සහ ස්කන්ධයේ කේන්ද්‍රය බොහෝ දුරට එකක්. නමුත් පෘථිවිය වැනි වඩා විශාල ග්‍රහ වස්තුවක් ආසන්නයෙහි පැවතීම නිසා, එහි බලපෑමෙන් චන්ද්‍රයාගේ ගුරුත්වජ කේන්ද්‍රය පිහිටන්නේ, එහි ස්කන්ධයේ කේන්ද්‍රය පිහිටන තැනම නොවෙයි. මේ වෙනස නිසා බොහෝ විට සඳු සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය නිර්ණය වන්නේත්, එහි පරිභ්‍රමණ වේගය නිර්ණය කරපු පෘථිවියේ ගුරුත්වජ බලපෑම මගින්ම තමයි.
මෙන්න මේ කරුණ නිසා පෘථිවියේ සිට නිරීක්ෂණය කරන විට චන්ද්‍රයාගේ දිස්වන්නේ එක මුහුණතක් පමණයි. අනෙක් අර්ධය සදාතනිකව පෘථිවියට දිස්වන්නේ නෑ. ග්‍රහ වස්තුවක් එහි එක් මුහුණතක් පමණක් තවත් ග්‍රහ වස්තුවකට පෙනෙන පරිදි, සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගයෙන්ම, අනෙක් ග්‍රහ වස්තුව වටා පරිභ්‍රමණය වන අවස්ථාව අප “Tidal Locking” ලෙස හඳුන්වනවා.
“Tidal Locking” නැවත විග්රහ කළහොත්
යම් වස්තුවක්, වඩා විශාල ස්කන්ධයකින් යුත් තවත් වස්තුවක ගුරුත්ව ක්ෂේත්රයේ, චක්‍රීය පරාවක්රයක, අධික වේගයකින් සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින්, අර වස්තුව වටා චක්‍රීය පරාවක්රයට පරිභ්රමණයක පවතින විට,
– ඒවායේ ගුරුත්ව ක්ෂේත්රයන් එකිනෙක අතිපිහිත වන ස්ථානයේදී, ඒ දෙකේම කක්ෂීය සමබරතාව තුලනය කර ගැනීමට සමාන දිශානතියක් ගන්නා කේන්ද්‍රාපසාරී බලයන්ද
– ඒ බලයන්ට අනුරූපී ඝූර්ණයන්ද
– එම ඝූර්ණයන් පවත්වා ගැනීමට අවශ්‍ය ස්කන්ධයන්ද සැකසෙනවා…
ඒ නිසා එහි ඇති කුඩා වස්තුව, ඒ විශාල වස්තුව වටා ඇති කක්ෂයක පරිභ්‍රමණය වන්නට ගතවන කාලය = එම වස්තුව එහිම අක්ෂය වටා භ්‍රමණය වන්නට ගතවන කාලය.
මේ නිසා එය අනෙක් වස්තුවට හැම විටම පෙන්වන්නේ එහි එක් මුහුණතක් පමණයි.
ඉහත සිද්ධාන්තය පරිදි, අපට දිස්වන්නේ චන්ද්‍රයාගේ මතුපිටින් හරියටම 50% ක් පමණක් නොවේ. එසේ වන්නේ සඳු ප්‍රශස්ථ වෘත්තාකාර කක්ෂයක පෘථිවිය වටා යනවා නම් පමණයි…නමුත් සත්‍ය වශයෙන්ම, සඳුගේ පෘථිවිය වටා ඇති කක්ෂය පෘථිවි ගුරුත්වජ බලපෑම නිසා ඉලිප්ස්කාර හැඩයක් ගැනීම හේතුවෙන්, අපට චන්ද්‍රයාගෙන් 59%-62% අතර ප්‍රමාණයක් දෘෂ්‍යමාන වෙනවා. ඉතිරි 38% – 41% ප්‍රමාණයට තමයි අපි කියන්නෙ, අපට කවදාවත් නොපෙන්වන සඳුගේ අඳුරු මුහුණ කියලා….
අඳුරු මුහුණත දැකගත් ආකාරය
චන්ද්‍රයාගේ මෙම අඳුරු මුහුණතෙහි ඡායාරූප මුල් වරට පෘථිවි වාසීන් වන අපට දැක ගන්නට ලැබෙන්නේ 1959 වසරේදියි. ඒ සෝවියට් චන්ද්‍ර ගවේෂක අභ්‍යවකාශ යානයක් වන “ලූනා – 3” යානය මඟින් ගන්නා ලද ඡායාරූපයි. එය මනුෂ්‍ය වර්ගයා පැවති සමස්ත කාලය පුරාම සඳෙහි අඳුරු දුරස්ථ මුහුණත දුටු ප්‍රථම වතාව වුවත්, එවකට පැවති තාක්ෂණය අනුව, ලැබුණු ඡායාරූප එතරම් පැහැදිලි, ප්‍රශස්ථ ඒවා වුනේ නෑ. ඒ ඡායාරූප වලින් 18 ක් පමණයි හඳුනා ගත හැකි තත්වයක හෝ ප්‍රයෝජනයක් ගත හැකි තත්වයක පැවතුනේ.
එදා සිට මෙදා දක්වා කාලය තුල ස්වයංක්‍රිය, ස්වයංපාලක අභ්‍යවකාශ යානා කිහිපයක් සඳුගේ මේ දුරස්ථ අඳුරු මුහුණත නිරීක්ෂණය කර තිබෙනවා. මේ යානාවලට අමතරව මෙම අඳුරු මුහුණත පුද්ගලිකව නිරීක්ෂණය කරන්නට සහ එයට ඉහළින් චලිතයක් පවත්වා ගන්න සමත් වෙලා තියෙන පුද්ගලයන් 24 දෙනෙකු ගැනත්, මානව අභ්‍යවකාශ ගවේෂණයේ ඉතිහාසය සාක්ෂි දරනවා. ඒ 24 දෙනා තමයි ඇපොලෝ 8,10,11,12,13,14,15,16,17 යන අභ්‍යවකාශ මෙහෙයුම් වල නියුතු වූ ගගණගාමීන් 24 දෙනා. මෙයින් “ජිම් ලොවෙල්, ජෝන් යන්ග් සහ ඉයුජීන් සර්නන්” කියන ගගණගාමීන් තිදෙනා ඉහත කී වික්‍රමය දෙවරක් කරන්නට සමත් වී තිබෙනවා.
ජිම් ලොවෙල්
– ඇපොලෝ 8 සහ 13 පියාසැරිවලදී
ජෝන් යන්ග්
– ඇපොලෝ 10 සහ 16 පියාසැරිවලදී
ඉයුජීන් සර්නන්
– ඇපලෝ 10 සහ 17 පියාසැරිවලදී
චීන අභ්‍යවකාශ වැඩසටහන සහ චන්ද්‍රයාගේ අඳුරු මුහුණත
මහජන චීන සමූහාණ්ඩුව යනු ඇමරිකා එක්සත් ජනපදය, අතීත සෝවියට් සමූහාණ්ඩුව සහ වත්මන් රුසියාව යන රටවල අභ්‍යවකාශ වැඩසටහන් හැරුණු කොට ලෝකයේ තිබෙන සංවර්ධිතම සහ සංකීර්ණම අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහන යැයි හැඳින්වුවහොත් නිවැරදියි…..ඒ පිළිබඳව දත්ත “ස්පේස් එක්ස්” සමාගම විසින් 2017 වසරේදි එළි දක්වන ලද දත්ත විශ්ලේෂණයක් ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, 2017 වසරේ අභ්‍යවකාශ යානා කක්ෂ ගත කිරීමේ සමස්ථ උත්සාහයන්ගෙන් 32% ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කර ඇති අතර, රුසියාව 23% ක් සහ චීනය 20% යනාදි වශයෙන් එම උත්සාහයන් ගොණුවට අයිතිවාසිකම් කියනවා…..
අභ්‍යවකාශ වැඩසටහන් ගැන හැඳින්වීමේදී තවත් වැදගත් කරුණක් තමයි, හුදෙක් පෘථිවිය වටා කක්ෂ ගත වන පරිදි යානා ප්රක්ෂේපණය කිරීමෙන් ඔබ්බට ගොස්, චන්ද්‍ර ගවේෂණය, අඟහරු ගවේෂණය සහ ඉනුත් ඔබ්බට ගැඹුරු විශ්වය ගවේෂණය මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට අපගේ තොරතුරු රැගෙන යාම වැනි කටයුතු සඳහාත් සාර්ථක ව්‍යාපෘති ආරම්භ කර ඇති අභ්‍යවකාශ වැඩසටහනක් ලෙස චීන අභ්‍යවකාශ වැඩසටහන හැඳින්විය හැකි වීම.
ඉතින් මෙබඳු දියුණු අභ්‍යවකාශ වැඩසටහනක් සහිත චීනය විසින් චන්ද්‍ර ගවේෂණයක ඉතාම වැදගත් පියවරක් වන, සඳුගේ අපට නොපෙනෙන මුහුණත ගවේෂණය සඳහා හඳුන්වා දුන් ව්‍යාපෘතිය තමයි” Chinese Lunar Exploration Program”හෙවත් “චැංගි” ව්‍යාපෘතිය…
මතු සම්බන්ධයි…
[දමිත් කේතක-රැස]
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)