ප්‍රථම තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජන අයිතියට…

ශ්‍රී ලාංකේය කෞතුකාගාර ඉතිහාසයට තරු ලකුණක් තිළිණ කරන මෙරට පළමු තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී හෙට (03) විවෘත කිරීමට නියමිතය.
දිවයිනේ ඉදිවන විශාලතම කෞතුකාගාරය වන මෙය මේ වනවිට පොළොන්නරුවේ ඉදිකර තිබෙන අතර මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙහි විශේෂත්වය වන්නේ නූතන යුගයට ගැලපෙන නවීන තාක්ෂණය යොදා ගෙන තිබීමයි. මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන මිනිසුන්ට අවබෝධ කර ගැනීමට නවීන තාක්ෂණ යොදා ගැනීමක් ලෙස මෙය හැඳින්විය හැක.
පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස් කිරීම හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීම ද මෙම කෞතුකාගාරය පිහිටුවීමේ තවත් එක් අරමුණක් වී තිබෙන අතර අප වෙසෙන තාක්ෂණික යුගයට අයත් නවීනතම කෞතුකාගාරයක තිබිය යුතු සියලුම අංගෝපාංගවලින් මෙම කෞතුකාගාරය සමන්විත වීම විශේෂත්වයකි.
මෙම කෞතුකාගාරය පුරාණ තාක්ෂණය හා සම්බන්ධ මැදිරි හතකින් යුක්තවන අතර එහි පළමු මැදිරිය පොළොන්නරුවේ ඉතිහාසයට අදාළ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා ද තෙවන මැදිරියෙන් මැටි හා වාත්තු තාක්ෂණය ද හතරවන මැදිරිය වාරි හා කෘෂි තාක්ෂණය ද පස්වන හා හයවන මැදිරිවලින් ගොඩනැගිලි තාක්ෂණය හා සිතුවම් හා දැව තාක්ෂණය ද හත්වන මැදිරියෙන් රෙදිපිළි නාවුක හා ගණිත මිනිත තාක්ෂණය ද ප්‍රදර්ශනය වේ. මෙම මැදිරිවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මැදිරියක් ද නිර්මාණය කර ඇති අතර එහිදී වළං නිර්මාණය කරන්නට, ගල් ආයුධ හා පබලු ආභරණ නිර්මාණය කරන්නට ද ප්‍රායෝගිකව අවස්ථාව සලසා දී තිබේ.
එසේම නව්‍යකරණ මැදිරියෙන් සීගිරි ජේතවන ආදී පෞරාණික ස්ථානවල ත්‍රිමාන රූප නිරූපණය කරන අතර විදේශීය කෞතුකාගාරවල මෙන්ම මෙම පුරාවිද්‍යා ස්ථානවල සජීවීව හිඳ ඡායාරූප ගතහැකි අයුරින් තාක්ෂණය යොදා ඇත. ඒ සියලු පහසුකම්වලින් සුසැදි ශ්‍රවණාගාරයක්, ග්රන්ථ ප්‍රකාශන අලෙවිහලක් හා සිහිවටන භාණ්ඩ අලෙවිහලක් ද මෙහි දැකගත හැකි වේ. එහි විකිණීමට ඇති සිහිවටන භාණ්ඩ සුවිශේෂී වන්නේ ඒ සියල්ල තල්පත් වලින් නිම වූ සිහිවටන වීමය.
ලංකාවේ ප්‍රථම පුරාණ තාක්ෂණ කෞතුකාගාර පදවියේ ඉහළම කිරුළ දරනා පොළොන්නරු තාක්ෂණ කෞතුකාගරය සතු පුස්තකාලය කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දිගුවක් වනවා පමණක් නොව, බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයට ද නෑකමක් එක්කරනු ඇත. කොළඹ ජාතික කෞතුකාගාරයට වඩා පොළොන්නරු පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පුස්තකාලය සුවිශේෂීත්වය නම් එහි පොත් බැහැර දීමේ අංශයක් ද ක්‍රියාත්මක වීමයි.
ස්වයං අධ්‍යයනය භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අතර මෙම කෞතුකාගාරය විදේශිකයන්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට හැකි වී තිබේ. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ සියලු අධීක්ෂණ කටයුතු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවන අතර මෙම කෞතුකාගාරයට වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙයි. දැනට මෙහි කාර්ය මණ්ඩලය සේවකයින් 53 දෙනෙකුගෙන් සමන්විත වන අතර කෞතුකාගාරයේ සියයට 95 ක වැඩකටයුතු අවසන් වී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මෙහි තාක්ෂණික අංග සකස් කර ගැනීම සඳහා සහය ලබා දී ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)