සංවර්ධන නිලධාරීන් 592ක් ගුරු සේවයට බඳවා ගැනේ…
සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළ උපාධිධාරීන් 592ක් ගුරු සේවයට බඳවා ගත් බවත්, එය ඔවුන්ගේ සුදුසුකම්වලට නිසි තැන ලැබීමක් බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන් යටතේ බඳවා ගත් සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. පත්වීම් ප්රදානය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ඊයේ (30) සිදුවිය. 2005, 2008 සහ 2011 වර්ෂවල සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් 592දෙනකු වෙත මෙහිදී පත්වීම් ප්රදානය කැරිණි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,
මෙම පත්වීම් ලබා දීමේ කාර්යය අවසන් කිරීමට ලැබීම ගැන විෂය භාර ඇමැතිවරයා ලෙස මා සතුටට පත් වෙනවා. මෙතැන සිටින සියලුදෙනා ම උපාධිධාරීන්. ඉගෙන ගත් අය වශයෙන් මේ කණ්ඩායමට රටේ අවස්ථාව ලබා දිය යුතුව තිබෙනවා. 2001- 2004 කාලයේ මම උපාධිධාරීන්ගේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ භාරව කටයුතු කළා. තරුණ අරුණ ආයතනයේ අධ්යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කළා. එදා අපි ලෝක බැංකු ආධාර යටතේ 50,000කට වැඩි ප්‍රමාණයකට රැකියා දීමේ වැඩපිළිවෙළ 2004 වන විට සම්පූර්ණයෙන් ම හදලයි තිබුණේ. අභ්‍යන්තර උපාධිය ලැබූ අයගෙන් ඒ ඒ විෂය අනුව, ලැබූ පන්ති සාමාර්ථය අනුව, ඒ වගේම බාහිර උපාධිධාරීන්, පුරප්පාඩු හඳුනාගෙන එම පත්වීම් ලබා දෙන්න ඔන්න මෙන්න කියා තිබියදී එවකට සිටි ජනාධිපතිනිය සිතුවා මේ රැකියා පනස් දහස දුන්නොත් බලපෑමක් එනවා කියලා ආණ්ඩුව විසුරුවා හරිනු ලැබුවා. ඉන්පසු පැමිණි රජය මේ එකක්වත් සැලකිල්ලට නොගෙන පත්වීම් පොදුවේ ලබා දුන්නා. පුටුවක් මේසයක් පවා නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැම්මා. නමුත් ඒක වැඩකළා, හේතුව රැකියා දුන් නිසා. අපිට ඒක මාකට් කරගන්න බැරි වුණා හරි ක්‍රමයට කරන්න ගිය නිසා. මේ වනවිට උපාධිධාරීන්ට රැකියා 20,000ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එයින් 5000ක් ලබා දුන්නා. තවත් 15,000ක් ඉදිරියේදී ලබා දෙනවා.
අපේ පාසල් පද්ධතියේත් විවිධ ක්‍රමවලට රැකියාවලට පැමිණි උපාධිධාරීන් සිටියා. මෙතැත සිටින අය ඒ තනතුරුවල ඉන්න ඇත්තේ සතුටින් නොවන්න පුළුවන්. තමන් වැනිම සහෝදර පිරිසක් ගුරු සේවයේ යෙදීම හෝ එයට ඉහළ රැකියාවල යෙදී සිටීම නිසා ඔබට මදිකමක් දැනුණු අවස්ථා තිබෙන්න ඇති. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් ඉක්මනින් මේ කාර්යය ඉටු කළේ. මේ පත්වීම් ගුරුසේවයට පෙරදාතම කළ හැකි නම් එසේ කරන්නේ කෙසේද අපි ඉදිරියේදී සොයා බලනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න හැකිද කියාත් සලකා බලනවා. අපි ඉතා අවබෝධයෙන් යුතුවයි මේ කටයුතු සිදුකරන්නේ. ඇතැම් විට අපේ නිලධාරීන් සිර වුණේ පරණ දේවල් ශුද්ධ කරන්න ගිහිනුයි.
අපි කළ ප්රගතිශීලී වැඩපිළිවෙළ නිසා සමහර අය සමහර මාධ්‍ය අපට දිගට හරහට පහර දෙනවා. පසුගිය කාලයේ දරුවන්ට ලබා දුන් පාසල් නිල ඇඳුම් රෙදි තත්ත්වයෙන් බාල බව හෙළි වුණා. එහි ලොකු මාෆියාවක් තිබුණා. එදා කළා වගේ මේකෙන් කෝටි 20ක් 25ක් අවුරුද්දකට තියාගෙන වෙන වෙන සෙල්ලම් කරන්න තිබුණා. ඒ වෙනුවට අපි වවුචර් ක්‍රමය ඇති කළා. එයින් කාටවත් අත යට ගනුදෙනු කරන්න හැකියාවක් නෑ. තෝරා ගැනීමක් කරන්න පුළුවන් විදිහට වවුචරයේ වටිනාකමත් වැඩි කළා. දැන් මා ජනාධිපති කොමිසමට කැඳවා තිබෙනවා.
අපි පාසල් දරුවන් ලක්ෂ 45කට සුරක්ෂා රක්ෂණාවරණය ලබා දුන්නා. එය රක්ෂණ සංස්ථාවට ලබා දුන්නාම ඒ රක්ෂණය ප්රතිරක්ෂණය කිරීම මගේ අමාත්‍යාංශයට අයිති දෙයක් නෙවෙයි. දැන් ඒකට මට වෙබ් අඩවිවලින් ගහනවා. ආපසු දෙවැනි වතාවේ සුරක්ෂා රක්ෂණාවරණයට ටෙන්ඩර් දැම්මාම දරුවන්ට අපි අමාත්‍යාංශය විදිහට ඉල්ලීමක් කළා මුලින් තිබූ වැරදිත් හදාගෙන විශේෂයෙන් ම දරුවන්ට ගෙවන ගෙවීම අඩු නිසා මම පැවසුවා කොන්දේසියක් දාන්න කියලා රක්ෂණ මුදලින් 75%ක් දරුවන්ට ගෙව්වේ නැතිනම් පෞද්ගලික හෝ රජයේ කාට ටෙන්ඩරය ගියත් ආපසු ඒ මුදල් අමාත්‍යාංශයට ගෙවන්න සිදුවන විදිහට කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය විදිහට දෙවැනි වතාවටත් අපි කිව්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට දෙන්න කියලා. පෞද්ගලිකව ආයතනයක් අභියාචනා යොමු කළා. එය ජනාධිපතිතුමා පත් කරන කමිටුවක්. එම කමිටුවෙන් පෞද්ගලික ආයතනයට මේ අවස්ථාව ලබා දුන්නාම මට ගහනවා ඇයි මම පෞද්ගලික ආයතනයකට දුන්නේ කියලා. මම නෙවෙයි දීලා තිබෙන්නේ.
පාසල් පෙළ පොත්වල මගේ පණිවුඩය දැමීමෙන් පාඩුවක් වුණා කියලා තවත් පැමිණිල්ලක් දානවා. අපි පුංචි කාලෙත් පෙළ පොත්වල අධ්‍යාපන ඇමැතිවරයාගේ පණිවුඩයක් තිබුණා. නමුත් පසුගිය කාලයේ ඇමැතිවරයාගේ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාගේ පණිවුඩයක් පවා දාලා තිබුණා. මගේ පණිවුඩය දැම්මා කියා පෙර වර්ෂවලට වඩා එක රුපියලක්වත් වැඩිපුර වැයවී නෑ.
අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය-
අධ්‍යාපන අමාත්‍යාංශය, ගුරු විද්‍යාල, විද්‍යා පීඨ සහ ජාතික පාසල්වල සංවර්ධන සහකාර, මූල්‍ය සහකාර සහ සංවර්ධන නිලධාරි ලෙස සේවය කළ ඔබ සියලුදෙනා අද සිට උතුම් සේවාවක් වන ගුරු සේවයට පිවිසීමට ගත් තීරණය ගැන සතුට පළ කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් අධ්‍යාපන සේවා ආයතන පී.එම්.සලාහුදීන්, අතිරේක ලේකම් පාසල් කටයුතු ආර්.එම්.එම්.රත්නායක, විභාග කොමසාරිස් බී.සනත් පූජිත මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)