ගුරු පත්වීම් 1200 ක් අගමැති අතින් ප්‍රදානය කෙරේ…

රට පුරා දහස් ගණනින් පවතින භාෂා ඉගැන්වීමේ ගුරු හිඟයට පිළියමක් ලබාදෙමින් සංහිඳියාවට අත්වැලක් සැපයීමට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් ඉගැන්වීමේ කාර්ය සඳහා යෙදවිය හැකි සුදුසුකම්ලාභීන් එක්දහස් දෙසීයක් සඳහා කැඳවීම් ලිපි ප්‍රදානය කිරීමේ ඓතිහාසික අවස්ථාව ඊයේ (10) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
සුදුසුකම්ලාභීන් දීපව්‍යාප්තව තෝරාගෙන තිබුණි. මෙහිදී සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් කිහිපදෙනෙකුට කැඳවීම් ලිපි පිරිනැමුණි.
ත්‍රෛ භාෂා සංකල්පය ක්‍රියාවට නැංවීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය යටතේ ජාතික භාෂා පුහුණුව තුළින් ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහජීවනය වර්ධනය කිරීමට ඇමැති මනෝ ගනේෂන් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කැඳවීම් ලිපි ප්‍රදානය සිදුවුණි.
ජාතික භාෂා සහ පුහුණු ආයතනය උපාධි ලබාදෙන භාෂා විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය සඳහා අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමැති මනෝ ගනේෂන් මහතා කරන ලද ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.
මෙම කැඳවීම් ලිපි පිරිනැමීමේ කර්තව්‍යය ඊයේ උදේ ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඇමැති ගනේෂන් මහතා සමත්ව තිබේ.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස සළකමින් තවත් පන්දහසක් පමණ බඳවා ගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සමඟ දැනට දින කිහිපයකට ඉහත දී පැවැති සාකච්ඡාවකදී ඇමැති ගනේෂන් මහතාට අනුමැතිය ලැබී තිබේ.
ඊයේ කැඳවීම් ලිපි ලබාදී තිබෙන්නේ දීපව්‍යාප්තව ලැබුණු ඉල්ලුම්පත් එක්දහස් හයසීයක් අතුරින් ඉහළම මූලික සුදුසුකම් ලැබූ එක්දහස් දෙසියදෙනාටය. එම පිරිසට දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් අටසීයක් සිංහල මාධ්‍ය අයදුම්කරුවන් හාරසීයක්, ඉංග්‍රීසි මාධ්‍ය අයැදුම්කරුවන් සියදෙනෙකු අයත්වුණි.
මෙම පිරිසට ලබාදෙන පුහුණු පාඨමාලාවට පැය හාරසිය පනහක දේශන සහ පැය එකසිය පනහක ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙති.
පුහුණුව සාර්ථකව නිමකරන පිරිස ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සම්පත්දායකයින් ලෙස ලියාපදිංචි කරනු ලැබේ.
අග්‍රාමාත්‍යවරයා සංකේතාත්මක කැඳවීම් ලිපි කිහිපදෙනෙකුට ප්‍රදානය කිරීමෙන් පසුව සෙසු පිරිසට කතානායක කරු ජයසූරිය, ඇමැති වජිර අබේවර්ධන, ඇමැති මනෝ ගනේෂන් මහත්වරුන් කැඳවීම් ලිපි ප්‍රදානය කළහ.
උපුටාගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)